Wednesday, February 1, 2012

තොටියාට කී කව

ලප නොමවන් නළල් තලේ - චන්දන තිලකය තවරා
දුහුල් වලා සළු අතරින් - සඳ කුමාරි හැඩ බලනව
තොටියෝ.....
බිඳීයාවි ඒ කැඩපත - නුඹේ හබල් පහරින්.....

වැස්ස වලාහක දෙයියෝ - විසුල සුසුදු මුතු අහුරින්
මුතු කැටයක් කොපුල දරා - කුමුදු මලී මල් හිනාව
තොටියෝ.....
සිඳීයාවි ඒ මල්දම - නුඹේ හබල් පහරින්.....

වැව් ඉවුරේ වැලි තලාවෙ - දිව සළුපිළි උනා තබා
දිය රැළි හා දඟ කරනා - සුරඟනගේ නිල් කෙහෙරැලි
තොටියෝ.....
ඉරීයාවි ඒ සිත්තම - නුඹේ හබල් පහරින්.....

ජේ.එම්.පී.ඩී. කුමාර,
වැඩසටහන් සහකාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.