Wednesday, February 1, 2012

තොටියාට කී කව

ලප නොමවන් නළල් තලේ - චන්දන තිලකය තවරා
දුහුල් වලා සළු අතරින් - සඳ කුමාරි හැඩ බලනව
තොටියෝ.....
බිඳීයාවි ඒ කැඩපත - නුඹේ හබල් පහරින්.....

වැස්ස වලාහක දෙයියෝ - විසුල සුසුදු මුතු අහුරින්
මුතු කැටයක් කොපුල දරා - කුමුදු මලී මල් හිනාව
තොටියෝ.....
සිඳීයාවි ඒ මල්දම - නුඹේ හබල් පහරින්.....

වැව් ඉවුරේ වැලි තලාවෙ - දිව සළුපිළි උනා තබා
දිය රැළි හා දඟ කරනා - සුරඟනගේ නිල් කෙහෙරැලි
තොටියෝ.....
ඉරීයාවි ඒ සිත්තම - නුඹේ හබල් පහරින්.....

ජේ.එම්.පී.ඩී. කුමාර,
වැඩසටහන් සහකාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

Friday, January 27, 2012

දිනවමු ලංකා


අසිපත දැරු සිහ නිරිඳුන්
පෙරමුණ ගත් වීර පුතුන්
අසිරි සදන මල් වරුසා
මල් පාවඩ මඟ එලාවි
හෙට දිනයේ ලොව දිනන්න එක්වෙමු සුහදේ.....

ක්ෂිතිජ ඉමේ ලහිරු සමඟ
කොමලි කරන නෙළුම් කැකුලි
හෙල විරුවන් හෙළු රුහිරෙන්
නුඹෙ කම්මුල් රත් පැහැ වේ
විකසිත වී හෙට දවසට හිනැහෙන් කුමරී.....

සුපුන් සඳෙහි කිරි ගඟුලෙන් ගලනා
කිරි දියරින් මල් පැසක් දොවාලා
කිරි වෙහෙරේ සෑ රදුන් පාමුලේ
සුරඟන ඇවිදින් බුදුන් වඳිනවා
තුණුරුවනේ ගුණ බලයෙන් සැනසෙන් ධරණී.....

ජේ.එම්.පී.ඩී. කුමාර
වැඩසටහන් සහකාර
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය