Wednesday, February 1, 2012

තොටියාට කී කව

ලප නොමවන් නළල් තලේ - චන්දන තිලකය තවරා
දුහුල් වලා සළු අතරින් - සඳ කුමාරි හැඩ බලනව
තොටියෝ.....
බිඳීයාවි ඒ කැඩපත - නුඹේ හබල් පහරින්.....

වැස්ස වලාහක දෙයියෝ - විසුල සුසුදු මුතු අහුරින්
මුතු කැටයක් කොපුල දරා - කුමුදු මලී මල් හිනාව
තොටියෝ.....
සිඳීයාවි ඒ මල්දම - නුඹේ හබල් පහරින්.....

වැව් ඉවුරේ වැලි තලාවෙ - දිව සළුපිළි උනා තබා
දිය රැළි හා දඟ කරනා - සුරඟනගේ නිල් කෙහෙරැලි
තොටියෝ.....
ඉරීයාවි ඒ සිත්තම - නුඹේ හබල් පහරින්.....

ජේ.එම්.පී.ඩී. කුමාර,
වැඩසටහන් සහකාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

Friday, January 27, 2012

දිනවමු ලංකා


අසිපත දැරු සිහ නිරිඳුන්
පෙරමුණ ගත් වීර පුතුන්
අසිරි සදන මල් වරුසා
මල් පාවඩ මඟ එලාවි
හෙට දිනයේ ලොව දිනන්න එක්වෙමු සුහදේ.....

ක්ෂිතිජ ඉමේ ලහිරු සමඟ
කොමලි කරන නෙළුම් කැකුලි
හෙල විරුවන් හෙළු රුහිරෙන්
නුඹෙ කම්මුල් රත් පැහැ වේ
විකසිත වී හෙට දවසට හිනැහෙන් කුමරී.....

සුපුන් සඳෙහි කිරි ගඟුලෙන් ගලනා
කිරි දියරින් මල් පැසක් දොවාලා
කිරි වෙහෙරේ සෑ රදුන් පාමුලේ
සුරඟන ඇවිදින් බුදුන් වඳිනවා
තුණුරුවනේ ගුණ බලයෙන් සැනසෙන් ධරණී.....

ජේ.එම්.පී.ඩී. කුමාර
වැඩසටහන් සහකාර
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

Wednesday, November 3, 2010

සැඟවෙන්න.....

සුදෝ සුදු කිරි විසුල
වලාවක සැතපිලා

සුසුදුවන් සඳ මුහුණ
සිපගන්න ඉඩ දෙන්න...

කුරුළු තුඩඟින් නැගෙන
මියුරු සර පරදවන
එකම එක වදනකින්
සැනසෙන්න ඉඩ දෙන්න...

වැව් දියට පෙම් බඳින
කුමුදු මල් පියල්ලෙක
මුතු රේණු පොඩ් අතර
සැඟවෙන්න ඉඩ දෙන්න...

ජේ.එම්.පී.ඩී. කුමාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

Thursday, April 22, 2010

නොබිඳි දැහැන

ඔද තෙද හිරුගේ විකුමන් බලයෙන්
වියළුන කතරින් අබිනික්මන් කොට
බවුන් වඩමි සිත එක්තැන් කරගෙන
අමා ගගුලෙහි ගිලී නිවෙන සේ

දෙටගමුවේ වැව් කොමළිය තුරුලේ
සැගවී නැලවෙන නිමල කුමුදු පෙති
නැගෙනු එපා එක දිය රැල්ලක්
බිදී යාවි ඉන් මගේ සමාධිය

සුපුන් ස‍දෙහි කිරි දියරෙන් නැහැවෙන
කිරි වෙහෙරේ මල් පූජාසනයට
ඉසිනු එපා එක මල් අහුරක්
බිදී යන සේ මගේ ධ්‍යානය

ජේ.එම්.පී.ඩී. කුමාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

Tuesday, October 6, 2009

තනිවෙන්නට අවසර !

සුසුදු සදෙහි කිරි ගගුලෙන් ගිලිහුන - එක් කිරි බිදුවක් පොළවට වැටිලා
වැව් දිය තලයෙහි විලියෙන් සැගවුන - කුමුදු මලක පෙති අතර දැවටිලා
පෙම්බස් මුමුණන නිසල රැයකදී - ඔබේ දෙනෙත ළග තනිවෙන්නම් මා.......!

සුමන සමන් දෙවි අනුහස් පැතිරුණ - පින්බර බැතිබර සමනල සිරසට
පරසතු මල් දෝතෙහි පුරවාගෙන - සිරිපා වැදුමට සුරලිය වඩිනා
සෙත් කවියක් වූ නිසල රැයකදී - ඔබේ දෙනෙත ළග තනිවෙන්නම් මා.......!

මුකුළු සිනා පෑ හත්දින්නක් තරු - ඇස් පියවුන එක් නිමේෂයකදී
ශිඛරය ගත රැදි මිහිදුම් සළුපිළි - මද පවනක් වී උනා දමන්නට
අවසර පතනා නිසල රැයකදී - ඔබේ දෙනෙත ළග තනිවෙන්නම් මා.......!


ජේ.එම්.පී.ඩී. කුමාර,
කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.